ශ්‍රී ලංකා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාගේ ඇරයුමකට අනුව, ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුහම්මද් අනිස් මත්තා (Muhammad Anis Matta) මහතා අප්‍රේල් 23 සිට 25 දක්වා මෙරට නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කළ නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර මහතා, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළි තහවුරු කළේය. දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩිකිරීම, වෙළඳ පරිමාව ඉහළ නැංවීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ද්විපාර්ශ්වික දේශපාලන සාකච්ඡා පැවැත්වීමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟ විය.
මෙම සාකච්ඡාවලදී සාගර සහයෝගීතාව, සංස්කෘතික හුවමාරු සහ දෙරටේ ජනතාව අතර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. ඉන්දුනීසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද හමු වූ අතර, එහිදී ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ රාජ්‍ය තාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් අවසන් අදියරේ පවතින බව අනාවරණය විය. 2027 වසරට යෙදෙන දෙරටේ 75 වැනි රාජ්‍ය තාන්ත්‍රික සංවත්සරය නිමිත්තෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු සිදුකිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.













