ගෝලීය පිරිසිදු බලශක්ති වෙළඳපොළ තුළ කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අරමුණින් හරිත හයිඩ්‍රජන් (Green Hydrogen) සහ හරිත ඇමෝනියා (Green Ammonia) නිෂ්පාදන ව්‍යාපෘති සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින්ට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ආරාධනා කර තිබේ. ඒ අනුව සුදුසුකම් ලත් ආයෝජකයින් සහ ව්‍යාපෘති ක්‍රියාකරුවන්ගෙන් තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය (Request for Information – RFI) 2026 අප්‍රේල් 23 සිට ජූනි 5 දක්වා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමටත්, 2050 වන විට සම්පූර්ණයෙන්ම කාබන්වලින් තොර බලශක්ති උත්පාදනයක් කරා යාමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. දිවයින සතු සූර්ය සහ සුළං බලශක්ති සම්පත් මෙන්ම ප්‍රධාන නාවික මාර්ග ඔස්සේ පිහිටා ඇති උපායමාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් 2030 වසර වන විට හරිත බලශක්ති අපනයනයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් උපයා ගැනීමට රජය සැලසුම් කර තිබේ.
නැව් කර්මාන්තය, වානේ නිෂ්පාදනය සහ පොහොර නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර සඳහා හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා භාවිතය ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින බැවින් මෙම ආයෝජන අවස්ථාව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු ඇත. මේ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට investsrilanka.com හෝ energymin.gov.lk වෙබ් අඩවි හරහා අදාළ අයදුම්පත් ලබාගත හැකි අතර ඒවා 2026 ජූනි 5 වන දින පස්වරු 3:00ට පෙර ආයෝජන මණ්ඩලය වෙත යොමු කළ යුතුය.














