ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh) මහතා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඇල්බර්ටෝ ආර්සිඩියාකොනෝ (Alberto Arcidiacono) මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පැවැත්වී ඇත.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ. ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීම සඳහා වන නව මාවත් පිළිබඳව සොයා බැලීමට ඉතාලියේ ඇති කැමැත්ත තානාපති ෆ්‍රැන්කොවිග් මහතා ප්‍රකාශ කර ඇති අතර, සමුද්‍රීය සේවා, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය (IT-BPO) සහ අගය එකතු කරන ලද කෘෂි නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ඇති අවස්ථා ගවේෂණය කරන ලෙස අමාත්‍යවරයා ඉතාලි ආයෝජකයින්ට ආරාධනා කර ඇත. එසේම, 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත “Sri Lanka Expo” ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා නියෝජිත පිරිසක් එවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා තිබේ. මෙම හමුව සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව සහ වාණිජ අධ්‍යක්ෂ චරිත යට්ටෝගොඩ යන මහත්වරුන් ද සහභාගී වී ඇත.














