ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් “ප්‍රජා බලකරණය සඳහා වෙනසක්” යන සන්නිවේදන මූලධර්ම මත පදනම් වූ **ප්‍රජා මූලික ඩෙංගු මර්දන හා පාලන නියමු වැඩසටහන** සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ජනතාවගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය වන අතර, එම දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මහජනතාවගේ හැසිරීම් රටාවේ (චර්යාත්මක) වෙනසක් ඇති කිරීමේ නව මංපෙත් සෙවීමේ සමීක්ෂණයක් දියත් කිරීම ඇතුළු නව මුහුණුවරකින් යුතුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව, නුගේගොඩ සහ බොරලැස්ගමුව යන තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ඩෙංගු අධිඅවදානම් වසම් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.
මෙහිදී තොරතුරු රැස්කිරීම හා දැනුවත් කිරීමේ අත්පත්‍රිකා මෙන්ම “ඩෙංගු රහිත නිවසක් – සුරක්ෂිත රටක්” යන තේමාව යටතේ කොළ, කහ සහ රතු පැහැති ස්ටිකර් මඟින් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝ නොවන, බෝවිය හැකි සහ බෝවන ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ ස්ටිකර් ව්‍යාපෘතියක්ද හඳුන්වා දෙන ලදී. මෙම නියමු ව්‍යාපෘතියේ දත්ත සමාලෝචනය කරමින් ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ආධාර ඇතිව බස්නාහිර පළාත සහ දීපව්‍යාප්තව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.














