ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ අංශයේ දිගුකාලීන තිරසාරභාවය, සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් විධිමත් කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‘සේව් ද චිල්ඩ්රන්’ (Save the Children) සංවිධානයේ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන ලද ප්‍රථම ජාතික පාසල් ආහාර සංසදය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. දිවයින පුරා රජයේ පාසල් 8,000 කට අධික සංඛ්‍යාවක පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දරුවන් මිලියනයකට වැඩි පිරිසකට පෝෂණ ආහාර ලබා දෙන වර්තමාන පසුබිමක, මෙම ජාතික සංවාදය මඟින් පාසල් ආහාර සැපයීම, දේශීය සැපයුම්කරුවන් නංවාලීම සහ පාසල් උද්‍යාන සංකල්පය වැනි අංශ අතර පවතින සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කර ඇත.
1931 වසර දක්වා ඈත ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ වැඩසටහන වර්තමානය වන විට මුහුණ දී ඇති ආර්ථික සහ කළමනාකරණ අභියෝග මැද, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘PALAM/A II’ ව්‍යාපෘතිය හරහා දිස්ත්‍රික්ක අටක පාසල් 900කට අධික සංඛ්‍යාවක දරුවන් 98,000කට වැඩි පිරිසකට අතිරේක ආහාර සහ පෝෂණ ආධාර ලබා දීමට ‘සේව් ද චිල්ඩ්රන්’ ආයතනය සමත්ව තිබේ. ආහාර සැපයීමට අමතරව දරුවන්ගේ සාක්ෂරතාව, ඉගෙනුම් කුසලතා සහ සමස්ත සෞඛ්‍ය ප්රමිතීන් ඉහළ නැංවීම ඉලක්ක කරගත් ක්‍රියාකාරකම් මෙම වැඩසටහනට ඇතුළත් වන අතර, එය ග්‍රාමීය ප්රජාවන්ගේ අධ්‍යාපන හා පෝෂණ මට්ටම ඉහළ නැංවීමට මහත් රුකුලක් වී ඇති බව අදාළ පාර්ශ්ව පෙන්වා දෙයි.
මෙම සංසදයේදී ගත් තීරණවලට අනුව, අදාළ අමාත්‍යාංශ සහ සංවර්ධන හවුල්කරුවන් එකතු කරමින් විශේෂ තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට නියමිත අතර, එමඟින් ජාතික පාසල් ආහාර වැඩසටහන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිමත් ආයතනික රාමුවක් සහ අඛණ්ඩ අරමුදල් සැපයීමේ යාන්ත්‍රණයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජයේ පූර්ණ නායකත්වය සහ ජාත්‍යන්තර සංවිධානවල දායකත්වය අත්වැඩ බැඳගනිමින් ඉදිරියට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, අනාගත පරපුරේ පෝෂණ ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික ව්‍යාපාරයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු නිසැීය.














