විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ඔටිසම් (Autism) සහ අනෙකුත් ස්නායු ආබාධ සහිත දරුවන් සාමාන්‍ය දරුවන්ගෙන් වෙන් කොට වෙනම ඉගැන්වීමේ පැරණි ක්‍රමය අත්හැර, ඔවුන්ට සාමාන්‍ය පෙර පාසල් දරුවන් සමඟම එක්ව ඉගෙනීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම වැඩපිළිවෙල සමාජ සේවා දෙපාර්තමේන්තුව හා එක්ව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සාර්ථක වර්ධනය සඳහා වෛද්‍ය උපදෙස් මත පදනම් වූ ක්‍රියාකාරකම් සහ චර්යාත්මක හැඩගැසීම් අත්‍යවශ්‍ය වේ. ඔවුන් සමාජයෙන් වෙන් නොකර සාමාන්‍ය දරුවන් අතරේම හැදී වැඩීමට අවස්ථාව දීම සමාජානුයෝජනය සඳහා ඉතාමත් වැදගත් බව අමාත්‍යවරිය අවධාරණය කළාය.
මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා මූලික පියවරක් ලෙස, පෙර පාසල් ගුරුවරුන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සහ පුහුණු කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක ද සහාය මෙම වැඩසටහනට හිමිවන බව අමාත්‍යවරිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ මුල් ළමාවිය අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඇති අවස්ථා සීමිත බවත්, ඉදිරියේදී එම දරුවන්ගේ අවශ්‍යතා මනාව සපුරාලිය හැකි පෙර පාසල් පද්ධතියක් රට තුළ පුළුල් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
















