පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.
අද (21) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, තිරිඟු පිටි මිල ඉහළ දැමීම පිළිබඳව අධිකාරිය දැනුවත් වී ඇත්තේ මාධ්ය වාර්තා හරහා බවයි. ඒ පිළිබඳ දැනගත් වහාම පිටි නිෂ්පාදන සමාගම් වෙතින් මිල ඉහළ දැමීමට හේතු සහ වැඩි කළ මුදල පිළිබඳ තොරතුරු විද්යුත් තැපෑලෙන් විමසා ඇති බවද ඔහු සඳහන් කළා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කර ඇති බැවින්, එහි මිල සංශෝධනය කිරීමේදී අධිකාරිය දැනුවත් කර සාකච්ඡා කර එකඟතාවකට පැමිණීම අවශ්ය බව සභාපතිවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව, වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව අවශ්ය නීතිමය පියවර ගන්නා බවත්, නිෂ්පාදන සමාගම්වලින් ලැබෙන පිළිතුරු අනුව ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.














