සියලු බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශීයව සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය මූලික කර ගනිමින් මෙම යාන්ත්‍රණය පිහිටුවීම සහ අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේදී පැවැත්විණි.
බන්ධනාගාර ආශ්‍රිතව හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ක්ෂණිකව අදාළ ආයතනවලින් අවශ්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් දැනුවත් කළේය. වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, ත්‍රිවිධ හමුදා නියෝජිතයන්, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා, පොලීසිය, ගිනි නිවීම් හමුදාව, සෞඛ්‍ය අංශ මෙන්ම ජල සම්පාදන මණ්ඩලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.














