ශ්‍රී ලංකාවේ නව මුල් කාලීන ළමා විය අධ්‍යාපන විෂය මාලා රාමුව සහ ගුරු මාර්ගෝපදේශ යටතේ දිවයින පුරා පෙරපාසල් සංවර්ධන ක්‍රියාකාරකම් දියත් කිරීමට සැලසුම් කර ඇත.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුකමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ජාතික ප්‍රතිපත්තියට අනුකූලව පෙරපාසල් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම තහවුරු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, නව විෂය මාලා රාමුවට අනුව පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැදගත්කමද අවධාරණය කළාය.
මෙහිදී 1 වැනි ශ්‍රේණිය සඳහා දැනට හඳුන්වා දී ඇති ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙන්ම 2027 වසරේදී 2 සහ 6 ශ්‍රේණි ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන සූදානම් වීම් ද පුළුල් ලෙස සමාලෝචනයට ලක් විය. අදාළ විෂය මාලා සහ තක්සේරු රාමු අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.














