ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අකුණු අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 50කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ජනතාව තුළ අකුණු ආරක්ෂණය පිළිබඳව පවතින අවම අවධානය සහ නොදැනුවත්කම හේතුවෙන් මරණවලට අමතරව තවත් විශාල පිරිසක් වාර්ෂිකව බරපතළ තුවාලවලට ලක්වන බව ද ඒ මහතා පෙන්වා දෙයි. මෙම අනතුරුදායක තත්ත්වය පාලනය කිරීම සහ ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනමින් “ජාතික අකුණු ආරක්ෂණ මධ්‍යස්ථානයක්” ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ පැවැති විශේෂ වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ලංකාව වැනි නිවර්තන කලාපීය රටක සංවහන වැසි සක්‍රීය වන කාලසීමාවන්හිදී අකුණු අනතුරු බහුලව සිදුවන බව දේශගුණික විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම එළිමහන් ක්ෂේත්‍රවල සේවය කරන ගොවි ජනතාව සහ ධීවරයන් මෙලෙස අකුණු අනතුරුවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. අකුණු සහිත වැසි පවතින අවස්ථාවලදී විවෘත එළිමහන් ස්ථානවල රැඳී නොසිටීම, උස ගස් හෝ විදුලි රැහැන් ආසන්නයේ රැඳීමෙන් වැළකීම, රැහැන් සහිත විදුලි උපකරණ භාවිතයෙන් බැහැර වීම සහ නිසි පරිදි භූගත කරන ලද (Earthing) ආරක්ෂිත පද්ධති භාවිත කිරීම මඟින් මෙම අනතුරු බොහෝ සෙයින් වළක්වා ගත හැකි බව ද පරිසරවේදීහු සහ තාක්ෂණික විශේෂඥයෝ අවධාරණය කරති.














