ශ්‍රී ලංකා සහ මාලදිවයින් ජනාධිපතිවරුන් අතර වැදගත් ද්වී පාර්ශ්වික සාකච්ඡා වටයක් ජනාධිපති කාර්යාලයේදී අද (04) පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අතර පැවති මෙම හමුවෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතරද සාකච්ඡා පවත්වා තිබෙනවා. තම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ජනාධිපති දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයාට සිය කෘතඥතාව පළ කළා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 61ක් සපිරෙන මෙම අවස්ථාවේ සිදු කෙරෙන සංචාරය තුළින් දෙරටේ හවුල්කාරීත්වය, විශ්වාසය සහ මිත්‍රත්වය මනාව පිළිබිඹු වන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. දෙරටේ ජනතාවට අන්‍යනෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් ආර්ථික, සංස්කෘතික සහ සමාජීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි නායකයින්ගේ විශේෂ අවධානය යොමු වුණා. විශේෂයෙන්ම සංචාරක, අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා මෙන්ම ඉන්දීය සාගර කලාපයේ ධීවර කර්මාන්තය වැනි කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ඉදිරියේදී දෙරට අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් වනු ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශ්වාසය පළ කළා.














