අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරනු ලබන “ලෝක ව්‍යාප්ත අවවාදාත්මක” (Worldwide Caution) සෞඛ්‍ය ඇඟවීම් මාලාව අද (28) දින යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉබෝලා (Ebola) වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රටවල් තුනක සිට පැමිණෙන අමෙරිකානු සංචාරකයන් සඳහා වන ඇතුළුවීමේ සෞඛ්‍ය පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
මෙම දැඩි සෞඛ්‍ය පරීක්ෂණ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය (DRC), උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල්වලින් පැමිණෙන අමෙරිකානු සංචාරකයන් සඳහා අදාළ වනු ඇත. ඒ අනුව, අමෙරිකාවට පැමිණීමට දින 21කට පෙර ඉහත කී රටවල රැඳී සිටි ඕනෑම ඇමෙරිකානු පුරවැසියෙකු හෝ එරට ජාතිකයෙකු (U.S. nationals) මෙම දැඩි පරීක්ෂාවන්ට ලක්විය යුතු වේ. එම සංචාරකයන් අමෙරිකාවට ඇතුළු විය යුත්තේ විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂණ සඳහා වෙන්කර නම් කරන ලද ගුවන් තොටුපළවල් හරහා පමණක් බව ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
















