ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) කොළඹදී පැවැත්විණි. දශක නවයක් පුරා සමාජ සේවය වෙනුවෙන් එම සංගමය සිදු කළ කැපවීම අග්‍රාමාත්‍යතුමිය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළාය.
රටක ප්‍රගතිය කාන්තාවන්ගේ සමාන සහභාගිත්වය මත රඳා පවතින බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපනය, ආර්ථිකය සහ ප්‍රජා නායකත්වය තුළ කාන්තාවන්ට සම අවස්ථා ලබා දීම තිරසාර සංවර්ධනයක් උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් බව ප්‍රකාශ කළාය. සැබෑ සුබසාධනය යනු ක්ෂණික සහන සැලසීම පමණක් නොව, කුසලතා සංවර්ධනය සහ අවස්ථා ලබා දීම හරහා පුද්ගලයන් සවිබල ගැන්වීම බවත් ඇය සඳහන් කළාය.
සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය ආයතන අතර පවතින හවුල්කාරීත්වය මඟින් ළමා ආරක්ෂාව සහ පවුල් සවිබල ගැන්වීම වැනි සමාජ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙහිදී සංගමයේ යාවජීව සාමාජිකාවන් වෙත උපහාර පුද කිරීම මෙන්ම, 90 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු කලාපය අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්වීම ද සිදු විය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.
















