ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වා තිබේ.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ සිනමා පාසලක් ආරම්භ කිරීමේ යෝජනාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය. දේශීය සිනමා ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීය දැනුම, කලාත්මක නිපුණතා සහ නව තාක්ෂණික හැකියාවන්ගෙන් සන්නද්ධ නව පරපුරක් බිහිකිරීම මෙහි මූලික අරමුණයි.
නිර්මාණාත්මක චිත්‍රපට නිෂ්පාදනයට අදාළ පුහුණුව සහ පර්යේෂණ කටයුතු සඳහා සංවිධානාත්මක වේදිකාවක් ලෙස මෙම පාසල ක්‍රියාත්මක වනු ඇත. එමඟින් දේශීය සිනමාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වයක් ඇති කිරීම සහ සිනමා කර්මාන්තයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සාකච්ඡාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, එහි සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ සමන් වීරවංශ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භාරත හේරත් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මිකා විජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














