2024 මහ මැතිවරණයේදී ජනතාව සිදු කළ ඓතිහාසික දේශපාලන වෙනසත් සමඟ උතුර සහ දකුණ ඒකාබද්ධ කරමින් ජාතික යහපැවැත්මක් ගොඩනැඟෙමින් පවතින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පවසා තිබේ. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ “ඇසි දිසි පියවර” විශේෂ මාධ්‍යවේදී වැඩමුළුවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
උතුරු, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර ඇතුළු සියලු පළාත්වල ජනතාවට සමාන අවධානයක් යොමු කරමින් අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කරන යහපත් දේශපාලන ගමනක රජය නිරතව සිටින බව ඇය සඳහන් කළාය. යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන, ජාතිවාදයෙන් තොර දේශපාලන සංස්කෘතියක් තුළ රටේ ආර්ථික වර්ධනය ශක්තිමත් වීම නිසා තරුණ පරපුරට රට හැර යාමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩුවෙමින් පවතියි.
2026 වසරේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ශක්‍යතා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 104ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, විශේෂ රක්ෂණාවරණයක් සහ සහනදායී දුරකථන දත්ත (Data) පැකේජයක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කරමින් පවතී. එමෙන්ම, මාධ්‍ය වෘත්තිකයන්ගේ අභිමානය සුරක්ෂිත කිරීම සඳහා වරලත් ආයතනයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර වැටුප් ගැටලු විසඳීමටද සාධනීය පියවර ගන්නා බව ඇය පැවසුවාය.
ඊට අමතරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන බවත්, ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත (ICCPR) කිසිසේත්ම ජනතාව මර්දනය කිරීම සඳහා භාවිත නොකරන බවට රජය සහතික වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.













