ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානය විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘ආරෝග්‍යා’ ජාතික සුවතා වැඩසටහනට සමගාමීව, ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදී.
ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම වැඩසටහනේ අරමුණ වූයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම මෙන්ම, ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන බෝ නොවන රෝග වළක්වා ගැනීම පිළිබඳ ජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීමයි. මීට අමතරව, වැඩසටහනට සහභාගී වූ ජනතාව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා මූලික සෞඛ්‍ය පරීක්ෂණද සිදු කරන ලදී. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස, මහජන සෞඛ්‍ය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙවැනි වැඩසටහන් සඳහා [ශ්‍රී ලංකා නාවික හමුදාව](https://news.lk) අඛණ්ඩව සිය සහයෝගය ලබා දෙයි.
















