පුහුණුව ලබන ආධුනික නාවිකයින්ගේ නේවාසික සහ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය තුළ අභිනවයෙන් ඉදිකළ නිවාස සංකීර්ණය දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) විවෘත කෙරිණි. නාවික හමුදා සිවිල් ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් සහ ඉංජිනේරු අංශයන්හි තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස සංකීර්ණය ඉදිකර ඇති අතර, ඒ සඳහා දායක වූ නාවික හමුදා පුද්ගලයින් ඇගයීමට ලක් කිරීම ද දකුණු නාවික විධානයේ ආඥාපතිවරයා විසින් එහිදී සිදු කරන ලදී. ආධුනික නාවිකයින් සඳහා සුව පහසු, ආරක්ෂිත සහ විධිමත් නේවාසික පරිසරයක් සැපයීම අරමුණු කරගනිමින් මෙය ඉදිකර ඇති අතර, නාවික පුද්ගලයින්ගේ සුභසාධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකිය. මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.














