ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්ව බරපතළ තුවාල ලැබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ. කොළඹ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පසුගිය අප්‍රේල් 26 වන දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
ධීවරයින් හය දෙනෙකු සමඟ කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ‘ලක්ෂිත 5’ (IMUL-A-2217 TLE) නැමති බහුදින ධීවර යාත්‍රාව, ගිනිකොනදිග මුහුදේ නාවික සැතපුම් 75ක් පමණ දුරින් මසුන් අල්ලමින් සිටියදී එහි සිටි එක් ධීවරයෙකු හදිසි අනතුරකට ලක්ව ආබාධිත තත්ත්වයට පත්ව ඇත. මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී.
නාවික හමුදා නිලධාරීන් විසින් අනතුරට පත් ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව, ඔහුව ආරක්ෂිතව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එන ලදී. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ධීවරයාව ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව බේරාගැනීම සඳහා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.














