යටත්විජිත සමය තුළ නෙදර්ලන්තය (ලන්දේසීන්) විසින් ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය සංස්කෘතික උරුමයන් සහ ඓතිහාසික වස්තූන් නැවත මෙරටට ලබාගැනීමේ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය ප්‍රතිපත්තිගරුක, සාක්ෂි මත පදනම් වූ සහ රාජතාන්ත්‍රික එකක් විය යුතු බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අවධාරණය කරයි. කොළඹදී පැවති “Whose Law?” පර්යේෂණ සම්මන්ත්‍රණයේ ආරම්භක අවස්ථාව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. නීති විශේෂඥයන්, ඉතිහාසවේදීන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේදී යටත්විජිත කාලය තුළ රටින් බැහැර කළ සංස්කෘතික උරුමයන් පිළිබඳ නීතිමය හා ඓතිහාසික විමර්ශනයක් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට නෙදර්ලන්ත රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ඉවාන් රුට්ජෙන්ස් (Iwan Rutjens), බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ සම්මන්ත්‍රණ සම සභාපති ආචාර්ය දර්ශි තොරදෙනිය යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ වැඩබලන අමාත්‍යවරයා, මෙම වස්තූන් කෞතුකාගාර භාණ්ඩ පමණක් නොව ජාතියක ජීවමාන උරුමය සහ අනන්‍යතාවය වන බැවින්, මෙම උත්සාහය ගැටුම්කාරී ලෙස නොව අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම් වූ ජාත්‍යන්තර සහයෝගිතාවක් ලෙස ඉදිරියට ගෙන යා යුතු බව පෙන්වා දුන්නේය.
කොළඹ විශ්වවිද්‍යාලය, ඇම්ස්ටර්ඩෑම් නිදහස් විශ්වවිද්‍යාලය (Vrije Universiteit Amsterdam) ඇතුළු ලන්දේසි පර්යේෂණ කවුන්සිලයන් දක්වන සහයෝගීතාව මෙහිදී අගය කෙරුණු අතර, ඉදිරියටත් මූලාශ්‍ර පර්යේෂණ, නීතිමය පැහැදිලිභාවය සහ මහජන දැනුවත්භාවය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරික උරුමය සුරැකීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කැපවී සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















