නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පවතින ක්‍රමය වෙනුවට නිර්මාණය වන නව අධ්‍යාපන පද්ධතිය තුළින්, සියලුම දරුවන්ට උපාධිය ලබා ගැනීම දක්වා යා හැකි මාර්ග සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව අවධාරණය කළාය.
හෙද වෘත්තීය අධ්‍යාපනය ඩිප්ලෝමාවකට පමණක් සීමා නොවී, එය උපාධියක් දක්වා ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ශාස්ත්‍රීය හා වෘත්තීය අධ්‍යාපනය යන මාර්ග දෙකෙන්ම දරුවන්ට උපාධියක් ලබා ගැනීමට මෙන්ම වෘත්තියකට පිවිසීමට අවශ්‍ය ක්‍රමවේද සකස් විය යුතු බව අගමැතිවරිය පෙන්වා දී තිබේ. නව ප්‍රතිසංස්කරණ හරහා සාත්තු සේවක සහ වැඩිහිටි සුරැකුම් සේවා වැනි ක්ෂේත්‍රවල නියැලෙන්නන්ටද උසස් අධ්‍යාපනය හැදැරීමට අවස්ථාව සැලසීමේ වැදගත්කම ඇය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.














