ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් භාණ්ඩාගාරයෙන් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීම සම්බන්ධයෙන් කඩිනම් විවාදයක් ඉල්ලා අද (05) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සභාගර්භය තුළ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයාට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ මෙවැනි කඩිනම් විවාදයක් පැවැත්විය හැක්කේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට පෙර යෝජනාව ඉදිරිපත් කර කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණහොත් පමණක් බවයි. කථානායකවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසු, සභානායක බිමල් රත්නායක මහතා රජය වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ කළේ අද දිනම එම විවාදය පැවැත්වීමට රජය සූදානම් බවයි.
ඒ අනුව අද පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ එම කඩිනම් විවාදය පැවැත්වීමට තීරණය විය.














