ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජල මාර්ග හරහා වාර්ෂිකව කිලෝග්‍රෑම් මිලියන 9ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඉන්දියන් සාගරයට එක්වන බව නවතම පර්යේෂණ දත්ත මගින් තහවුරු වේ. මෙය ආසන්න වශයෙන් පූර්ණ බරින් යුතු කසළ ට්‍රක් රථ 900කට සමාන ප්‍රමාණයකි.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ජනතාව නොසැලකිලිමත් ලෙස පාරවල් අයිනේ සහ කාණු පද්ධතිවලට බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වර්ෂාපතනයත් සමඟ ජල මාර්ග ඔස්සේ සාගරයට ගලා යන බවයි. මෙම අපද්‍රව්‍ය ජල මාර්ග අවහිර කිරීම හේතුවෙන් පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් ද පවතී.
කෙසේ වෙතත්, මෙම පාරිසරික ව්‍යසනය පාලනය කිරීම සඳහා 2020 අගෝස්තු මාසයේ සිට ‘MAS Ocean Strainers’ නමැති පාවෙන බාධක ජාලයක් දිවයින පුරා ස්ථාන 100ක ස්ථාපිත කර ඇත. එමගින් ජල මාර්ගවල පාවෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාර්ථකව නිරෝධනය කරමින් පවතින බව වාර්තා වේ.
පසුගිය වසර 5ක කාලය තුළ මෙම උපාංග හරහා රැස් කළ දත්ත ඇසුරින්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිටවන ප්‍රධාන ස්ථාන හඳුනා ගැනීමට සහ එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇත.
















