පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගොස් තිබේ. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑම සහ ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන්, සැලසුම් කළ ඉදිකිරීම් කටයුතු නිසි කලට සිදු කිරීමට අභියෝගාත්මක වාතාවරණයක් මතුව ඇති බව සමීක්ෂණයේදී හෙළි වී ඇත.
මාර්ග ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ මට්ටමක පැවතීම නිසා නව ඇණවුම් දර්ශකය මෙම මාසය තුළ වර්ධනය වුවද, ඉහළ යන අමුද්‍රව්‍ය පිරිවැය හේතුවෙන් ඇතැම් නව ව්‍යාපෘති ප්‍රමාද විය හැකි බව වාර්තා වේ. ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව ස්ථාවර බැවින් සේවා නියුක්ති දර්ශකය ඉහළ ගොස් ඇති නමුත්, බොහෝ සමාගම් පුහුණු සේවක හිඟයකට මුහුණ දී සිටී. ඉදිකිරීම් කටයුතු අඩු වීම නිසා තොග මිලදී ගැනීම් දර්ශකය පහළ ගොස් ඇති අතර, සැපයුම්කරුවන්ට ඇණවුමක් සැපයීමට ගතවන කාලය ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් අංශයේ අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතී.















