ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරී පුරප්පාඩු අවම කිරීම සඳහා අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය හිමිව තිබේ. පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මහනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ මාසය අවසන් වීමට පෙර උප පොලිස් පරීක්ෂකවරුන් 1,000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, පොලිස් කොස්තාපල්වරුන් 2,500ක් බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය ද දැනටමත් නිකුත් කර තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට නිලධාරීන් 40,000ක පමණ දැවැන්ත හිඟයක් පවතින බව පෙන්වා දෙන පොලිස්පතිවරයා, පසුගිය මාස තුනක කාලය තුළ පමණක් නිලධාරීන් 1,200ක් විශ්‍රාම ගොස් ඇති බවද සඳහන් කළේය.
පවතින නිලධාරී හිඟයට තාවකාලික විසඳුමක් ලෙස සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 6,000ක් පමණ මේ වන විටත් පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර ඇති අතර, ඉදිරියේදී තවත් 4,000ත් 5,000ත් අතර පිරිසක් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව සහකාර පොලිස් අධිකාරී තනතුරු සඳහා ද බඳවා ගැනීම් සහ උසස්වීම් සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය සඳහා යොමු කර ඇති බව පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.














