දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (අප්‍රේල් 20) සිට ඉදිරි සති දෙකක කාලය තුළ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම වර්ෂා තත්ත්වය හේතුවෙන් දැනට පවතින දැඩි වියළි කාලගුණයට තාවකාලික සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර අද සිට දිවයිනේ තැනින් තැන මිලිමීටර් 50 සිට 75 දක්වා මට්ටමේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කෙසේ වෙතත් දහවල් කාලයේ පවතින අධික උණුසුම තවදුරටත් පවතිනු ඇති බවත් මෙම වැසි තත්ත්වය ජලාශ පිරී යාමට හෝ ජල හිඟයට ස්ථිර විසඳුමක් වීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් කාලගුණ අංශ අවධාරණය කරයි.
ලබන මැයි මාසයෙන් පසුව මෙරටට එල්නිනෝ (El Niño) තත්ත්වයක බලපෑමක් ඇති විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත නිරිතදිග මෝසම් සුළං තත්ත්වයට එහි ආරම්භක අවධියේදී එල්නිනෝ බලපෑමක් එල්ල නොවනු ඇතැයි විශ්වාස කෙරේ. නමුත් එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නිරිතදිග මෝසම සක්‍රීය නොවුණහොත් එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවීමක් සිදු විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.














