කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකපිට ප්‍රධානපෙළේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.
ඉකුත් 2026.07.23 දින සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, දැනටමත් මෙම අපරාධයට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පලාගොස් සිටින තවත් සැකකරුවන් තිදෙනා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර, ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාවද මේ වන විට අවසන් වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටින් පලා යාමට ඉඩ ඇති බැවින්, ඔවුන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සැකකරුවන්ගේ ඡායාරූපද මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.













