ශ්‍රී ලංකා පොලිස් දෙපාර්‌තමේන්තුවේ සිටිය යුතු නිලධාරීන් සංඛ්‍යාව 102,000ක් වුවද, මේ වනවිට සේවයේ සිටින්නේ නිලධාරීන් 72,000ක් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පවතින 30,000ක පමණ නිලධාරී හිඟය සැලකිල්ලට ගනිමින් අලුතින් පොලිස් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා නීතිඥ සංගමයේ සාමාජිකයන් සමඟ පැවති හමුවකදී සඳහන් කර ඇත.
නිලධාරී හිඟය හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන්ට දිනකට පැය 12ත් 15ත් අතර කාලයක් රාජකාරියේ නිරත වීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. එමෙන්ම රාජකාරියේ යෙදී සිටියදී වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් නිලධාරීන් බව සඳහන් කළ ඔහු, පසුගිය වසරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් 1,100ක් මියගොස් ඇති බවද ප්‍රකාශ කර ඇත.
මේ අතර අල්ලස් කොමිසමේ ශාඛා කාර්‌යාල 24ක් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් 373 දෙනෙකු බඳවා ගැනීමටද පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.














