ශ්‍රී ලංකාවට බලපා හැකි එල් නිඤ්ඤෝ (El Niño) කාලගුණ තත්ත්වයේ විභව බලපෑම් ඇගයීමට සහ ඊට මුහුණ දීමේ සූදානම හා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේද සමාලෝචනය කිරීම සඳහා ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම සාකච්ඡාව මඟින් එල් නිඤ්ඤෝ තත්ත්වය සම්බන්ධයෙන් පවතින කාලගුණ අනාවැකි, රටට ඇතිවිය හැකි බලපෑම් සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය හා සූදානම ශක්තිමත් කරගැනීමේ පියවරයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි. මීට අමතරව, වෙනස් වන කාලගුණ රටාවන් හමුවේ ජල සම්පත් කළමනාකරණය කරගැනීමේ වැදගත්කම සහ ජල හිඟයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
මෙම හමුව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයෝද සහභාගී වූහ.
















