ශ්‍රී ලංකාවේ ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව සමාජය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින්, පසුගිය සමයේ ලබාදුන් සියලු ජනාධිපති සමාවන් වහාම අවලංගු කර නිසි ක්‍රමවේදයකට අනුව නැවත පරීක්ෂා කළ යුතු බවට ප්‍රකට දේශපාලන විචාරක හා මහාචාර්ය මහින්ද පතිරණ මහතා යෝජනා කරයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපති සමාව අවලංගු වීම සහ නොවී පැවතීම පිටුපස විවිධ නීතිමය හේතු පැවතිය හැකි නමුත් සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳව නොදන්නා බැවින් “නීතිය සැමට සමාන නැත” යන වැරදි මතවාදය සමාජගත වන බවයි. විශේෂයෙන්ම රංජන් රාමනායක සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් ද ජනාධිපති සමාව යටතේ නිදහස් වූවන් බවත්, එකම ජනාධිපතිවරුන් විසින් ලබාදුන් සමාවන් අතරින් එකක් වැරදි වී තවෙකක් නිවැරදි වන්නේ කෙසේදැයි ජනතාව ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කරයි.
යුක්තිය ඉටුවීම මෙන්ම යුක්තිය ඉටුවන බව සමාජයට පෙනී යාම ද අත්‍යවශ්‍ය කරුණක් වන බැවින්, ජනාධිපති සමාව පිළිබඳ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින සැකය දුරුකිරීමට සියලු ජනාධිපති සමාවන් නැවත සමාලෝචනයට ලක්කිරීම කාලීන අවශ්‍යතාවක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.













