රට පුරා බන්ධනාගාරවල පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ යෝජනා හා අදහස් ලබාගැනීමට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සිට අධිකරණය හමුවේ නඩු පැවරීම දක්වා ක්‍රියාත්මක වන සමස්ත පටිපාටියම පුළුල් විමර්ශනයකට ලක් කර ඇත.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නඩු කටයුතු නිම කිරීමට ගතවන කාලය දීර්ඝ වීම සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේදී සිදුවන දැඩි ප්‍රමාදයන් හේතුවෙන් විශාල පිරිසක් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවීම බන්ධනාගාර පිරීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ. මෙයට පිළියම් වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් දුරකථන සමාගම් හරහා සිදුකරන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම අවභාවිත කිරීම වැළැක්වීමට නවීන තාක්ෂණික හා නියාමන ක්‍රමවේද හඳුන්වාදීමටත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිරගත කිරීම වෙනුවට ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් වෙත යොමු කිරීමටත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
තවද, අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කරමින් විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය වේගවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළම නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් (Forensic Laboratory) ස්ථාපිත කිරීමේ වැදගත්කම ද සභාවේ අවධානයට යොමු විය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූ මෙම රැස්වීමේදී, පවතින නීති කාලීන අවශ්‍යතාවලට ගැළපෙන සේ සංශෝධනය කරමින් පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය පුහුණුව හා සුබසාධනය ඉහළ නැංවීමට ද එකඟතාව පළ කෙරිණි.














