ශ්‍රී ලංකාව තුළ මේ වන විට ගොඩනැගී ඇති දේශපාලන ස්ථාවරත්වය සහ දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් යුත් ආයෝජන පරිසරය පිළිබඳව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් දැනුවත් කිරීමට කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පියවර ගෙන තිබේ. නව දිල්ලියේදී පැවති ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) වටමේස සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම හමුව සඳහා FICCI සභාපති ඩෙවින් නාරං මහතා, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජිතයින් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය ද සහභාගී වී සිටියහ.
නව රජය යටතේ වංචාව සහ දූෂණය තුරන් කරමින් විනිවිදභාවයෙන් යුත් සුරක්ෂිත ආයෝජන පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මීට පෙර ගතවූ කාලය සැලකිය යුතු ලෙස අවම කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. නිලධාරිවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය රජය විසින් ලබාදෙන බවට ද ඔහු ඉන්දීය ආයෝජකයින්ට සහතික විය.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින ආයෝජන විභවයන් පිළිබඳව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම සාකච්ඡාව මෙරටට නව ආයෝජන ගෙන ඒමටත්, ආර්ථිකය නව මාවතකට යොමු කිරීමටත් ශක්තිමත් අඩිතාලමක් වනු ඇති බව සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
















