ඉතාලියේ රෝම නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වැනි ධීවර කාරක සභා සැසිය (COFI 37) අතරතුර, ශ්‍රී ලංකාව විසින් ජාතික ධීවර ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.
ඩිජිටල් පරිවර්තනය, විද්‍යාත්මක දත්ත කළමනාකරණය සහ සුළු පරිමාණ ධීවර කර්මාන්තයට ප්‍රමුඛතාව දිය යුතු බව එහිදී අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම ධීවර දත්ත විද්‍යාත්මකව රැස් කිරීම සඳහා නව දත්ත රැස්කිරීමේ ඒකකයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටින බවත්, අස්වැන්න නෙළීමෙන් පසු සිදුවන හානිය අවම කිරීමට සිසිලන සැපයුම් දාම පහසුකම් වැඩිදියුණු කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය. එසේම, බෙංගාල බොක්ක කලාපීය රාජ්‍යයන්ගේ සංවිධානයේ (BOBP-IGO) නායකත්වය වෙනුවෙන් පෙනී සිටිමින් සාමාජික රටවල් අතර කලාපීය ධීවර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, නීති විරෝධී, වාර්තා නොවන සහ අවිධිමත් (IUU) ධීවර කර්මාන්තය පාලනය කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.














