ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “ලොව හොඳම දූපත් 50” (The 50 Best Islands in the World) ශ්‍රේණිගත කිරීමේදී, 2026 වසර සඳහා ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පදනම් කර ගෙන ඇත්තේ මාධ්‍ය ආවරණ, සමාජ මාධ්‍ය තුළ පවතින ජනප්‍රියත්වය, සංචාරක ප්‍රවණතා සහ ‘Big 7 Travel’ කර්තෘ මණ්ඩලයේ විශේෂඥ ඇගයීම්වල එකතුවකි.
ශ්‍රී ලංකාව මෙම ඉහළම ස්ථානයට පත් වීමට බලපෑ ප්‍රධාන සාධක ලෙස සැතපුම් 833ක අලංකාර වෙරළ තීරය, මනරම් මධ්‍යම කඳුකරය සහ තේ වතු ආශ්‍රිත දර්ශන, පොහොසත් සංස්කෘතික උරුමය සහ ජෛව විවිධත්වය මෙන්ම යාල ජාතික උද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය වැනි සුවිශේෂී ආකර්ෂණීය ස්ථාන හඳුන්වා දිය හැකිය.
ප්‍රංශ පොලිනීසියාවේ ‘මෝරියා’ (Mo’orea) දූපත දෙවන ස්ථානයටත්, යේමනයේ ‘සොකොත්‍රා’ (Socotra), පෘතුගාලයේ ‘මඩෙයිරා’ (Madeira) සහ ඉක්වදෝරයේ ‘ගලපගෝස්’ (Galápagos) දූපත් පිළිවෙළින් ඉදිරි ස්ථානවලටත් පත්ව ඇත. එසේම, මෙම වාර්තාවට අනුව ලොව හොඳම වෙරළ තීර 50 අතරට උණවටුන වෙරළ තීරය 26 වන ස්ථානයට නම් කර තිබීමද ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට ලැබුණු විශාල ජයග්‍රහණයකි.
















