ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව, 2026 ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 9.3කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 695ක් ලෙස වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, මැයි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 847ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව ජූනි මාසයේදී එහි අඩුවීමක් දක්නට ලැබේ.
මේ වසරේ පළමු මාස හය තුළ ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.60ක් වන අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 23.2ක වර්ධනයකි.
සංචාරක ක්ෂේත්‍රයේ දත්ත දෙස බලන විට, ජූනි මාසයේදී උපයා ඇති සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 151.1කි. මෙය මැයි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 155.7කට සහ 2025 ජූනි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 169.5කට වඩා අඩු අගයකි. වසරේ පළමු මාස හය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබී ඇති ආදායම ඩොලර් බිලියන 1.51ක් වන අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 11.8ක පහත වැටීමකි. මෙම කාලසීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ද සියයට 1.8කින් සුළු වශයෙන් පහත බැස මිලියන 1.15ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර, 2026 ජූනි මස අවසානය වන විට මෙරට දළ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 6.45ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර තිබේ. මෙම සංචිතවලට චීන මහජන බැංකුව සමඟ පවතින ව්‍යවහාර මුදල් හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වේ. ජූලි 10 වන දින වන විට, ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වසර ආරම්භයේ සිට සියයට 7.9කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
















