මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
2004 වර්ෂයේ සිට මේ දක්වා පැවැති සෑම ඡන්ද විමසීමකදීම අනන්‍යතාව තහවුරු කිරීම සහ නොමැකෙන තීන්ත ආලේප කිරීම යන ක්‍රමවේද දෙකම අනිවාර්ය කර තිබුණි. හොර ඡන්ද වැළැක්වීම අරමුණු කරගත් මෙම ක්‍රමවේද දෙක එකවර අනුගමනය කිරීමෙන් ඡන්ද මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවට බාධා සිදුවන බවත්, එමගින් රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවත් රජය නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව, නොමැකෙන තීන්ත භාවිතය පිළිබඳ අවශ්‍යතාව ඉවත් කරමින්, අදාළ මැතිවරණ පනත්වල වගන්ති සංශෝධනය කිරීමට නීතිමය පියවර ගෙන ඇත. එම සංශෝධනයන්ට ලක්වන ප්‍රධාන පනත් වන්නේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනත (1981 අංක 15), පාර්ලිමේන්තු මැතිවරණ පනත (1981 අංක 1), පළාත් සභා ඡන්ද විමසීම් පනත (1988 අංක 2) සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 වැනි අධිකාරය) යන පනත් වේ.
















