ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් හැර අනෙකුත් ලිංගාශ්‍රිත රෝගීන් දසදහස ඉක්මවා වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන අනතුරු අඟවයි. ඉකුත් වසරේ සිට මේ දක්වා කාලය තුළ හර්පීස්, ගොනෝරියා, උපදංශය සහ ලිංගික ඉන්නන් ශරීරගත වූ රෝගීන් 10,032ක් වාර්තා වී ඇත.
මෙම රෝග තත්ත්වයන් ශරීරගත වූ පසු විවිධ සංකූලතා ඇති විය හැකි බැවින්, රෝග ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් සිටීම අතිශයින් වැදගත් වේ. විශේෂයෙන්ම, දින තුනකට වඩා පවතින උණ තත්ත්වයන් සහ ලිංගික අවයව ආශ්‍රිතව තුවාල, බිබිලි හෝ ඉන්නන් මතු වීම, මුත්‍රා කිරීමේදී ඇති වන වේදනාව හෝ අපහසුව, සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් ශ්‍රාවයන් පිටවීම, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව පවතින දරාගත නොහැකි වේදනා මෙන්ම උණ හෝ ග්‍රන්ථි ඉදිමීම වැනි රෝග ලක්ෂණ කෙරෙහි මහජනතාව අවධානය යොමු කළ යුතුය.
මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොවී වහාම සුදුසුකම් ලත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම අත්‍යවශ්‍ය වේ. මුල් අවස්ථාවේදීම රෝගය හඳුනා ගැනීම මගින් සාර්ථක ප්‍රතිකාර ලබාගෙන සංකූලතා අවම කර ගැනීමට සහ අනෙකුත් අයට රෝගය පැතිරීම වැළැක්වීමට හැකියාව ලැබේ.
















