සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෝජන්ගේ දෙමාපියන් අතර විශේෂ හමුවක් අද (21) පවත්වා තිබේ. ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙම සාකච්ඡාවේදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සෞදියට විශේෂ දූත පිරිසක් යැවීම මෙන්ම සෞදි පාලකයන් සමඟ ඇති පුද්ගලික සම්බන්ධකම් භාවිත කිරීම පිළිබඳවද සාකච්ඡා කළ බවයි.
සෞදි රජුගෙන් සමාවක් ලබා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බව හමුවෙන් පසු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී දෙමාපියන් දැනුවත් කර ඇති අතර, අනෝජන් නිදහස් කර ගැනීමට සහාය ලබා ගැනීම සඳහා ඔහුගේ ඥාතීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට සෞදි තානාපති කාර්යාලය ද හමුවී තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ මැදිහත් වීමෙන් සෞදි තානාපති කාර්යාලයට ලිපියක් භාර දී ඇති අතර, තම පුත්‍රයා බේරා ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන ලෙස ඔහුගේ මව කඳුළින් යුතුව ඉල්ී සිටී.












