කොළඹදී ඉන්දියාවට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ යොවුන් පිතිකරුවන් වන සොනාල් දිනූෂ සහ පසිඳු සූරියබණ්ඩාර අලුත්ම ICC පිරිමි ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල විශාල ඉදිරිගමනක් සටහන් කර ඇත.
ඉන්දියාවට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ශතක (Twin centuries) ලබාගත් 25 හැවිරිදි සොනාල් දිනූෂ, සිය වෘත්තීය දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම වන 25 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. පළමු ටෙස්ට් තරග 5 අවසානයේ ඔහුගේ පිතිකරණ සරාසරිය 86.57ක් ලෙස සටහන් වේ. එමෙන්ම සිය දෙවන ටෙස්ට් තරගයට පමණක් මුහුණ දෙමින් ඉනිම දෙකේදී පිළිවෙලින් ලකුණු 80ක් සහ 92ක් රැස්කළ පසිඳු සූරියබණ්ඩාර ස්ථාන 170ක් ඉදිරියට පැමිණෙමින් 74 වන ස්ථානය හිමිකරගෙන තිබේ. මීට අමතරව කමිඳු මෙන්ඩිස් නැවතත් හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණ ඇති අතර, ඉන්දියානු පිතිකරු දේව්දත් පඩික්කාල් 54 වන ස්ථානයටත් ධෲව් ජුරෙල් 65 වන ස්ථානයටත් ඉහළ ගොස් ඇත.














