ශ්‍රී ලංකාව සහ සුරිනාම් රාජ්‍යය (Suriname) අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සුරිනාම්හි ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්කරන ලද සී. ඒ. චමින්දා අයි. කොලොන්න මහත්මිය එරට ජනාධිපතිනි ජෙනිෆර් ගීර්ලින්ග්ස් සයිමන්ස් මහත්මිය (Jennifer Geerlings-Simons) වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ.
සුරිනාම් හි පරමාරිබෝ නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී හමුදා සම්මාන මුරයක් සහිතව පැවැති මෙම උත්සවයේදී, තානාපතිනිය විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උණුසුම් සුභාශිංසන එරට ජනාධිපතිනිය වෙත පිරිනමන ලදී.
දෙරට අතර වෙළෙඳ, ආයෝජන, කෘෂිකර්මාන්ත, තිරසර බලශක්ති සහ සංචාරක ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් පුළුල් කිරීමට මෙහිදී එකඟතාව පළවූ අතර, සුරිනාම්හි වේගයෙන් දියුණු වන තෙල් හා ගෑස් ක්ෂේත්‍රය මෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික දායකත්වය ලබාදීමට ද සාකච්ඡා වී තිබේ.
















