මෙරට විද්‍යාඥයින්ගේ සහ පර්යේෂණ නිලධාරීන්ගේ වෘත්තීය ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු විය.
මෙම ගිවිසුම යටතේ 2026 සිට 2031 දක්වා කාලය තුළ කෘෂිකර්මය, ආහාර නවෝත්පාදනය, දේශගුණ විපර්යාස, තිරසර බලශක්තිය සහ ආපදා කළමනාකරණය වැනි ක්ෂේත්‍ර රැසක් යටතේ දර්ශනපති (M.Phil.) සහ ආචාර්ය (Ph.D.) උපාධි පර්යේෂණ සඳහා ශිෂ්‍යත්ව අවස්ථා හිමි වේ. ඒ සඳහා AIT ආයතනය මගින් 35% ක විශේෂ අධ්‍යයන ගාස්තු සහනයක් ලබා දීමට එකඟ වී ඇති අතර, ඉතිරි පිරිවැය බාහිර මූල්‍ය ආයතන හරහා සපුරා ගැනීමට සැලසුම් කර ඇත.
ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන ඉහළ තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධ වෘත්තීයවේදීන් පිරිසක් රටට දායක කර ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහොමඩ් නවවි මහතා සහ AIT ආයතනය වෙනුවෙන් එහි උප සභාපති මහාචාර්ය සිද්ධාර්ත් කේ. ජබාඩේ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.














