මෙම වසර අවසානයට පෙර මෙරට සියලුම පෙර පාසල් රජයේ ලියාපදිංචි ප්‍රමිතිගත ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වා තිබේ. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ පැවති හමුවකදී මෙම කරුණු සාකච්ඡා වී ඇත.
පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය සහ නියාමනය කිරීමේ බලය පළාත් සභා යටතේ ඇති පළාත් පෙර පාසල් ඒකක සතු වේ. ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කෙරෙන අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ඒවා නියාමනය කරනු ලබයි.
බොහෝ මධ්‍යස්ථාන ලියාපදිංචියකින් තොරව වෙනත් අධ්‍යාපන හෝ ව්‍යාපාරික ආයතන සමඟ පවත්වාගෙන යාම නිසා නියාමන ක්‍රියාවලිය සංකීර්ණ වී ඇත. මෑත කාලීනව මෙවැනි මධ්‍යස්ථාන තුළ දරුවන් අනතුරට සහ අනාරක්ෂිත බවට පත්වූ අවස්ථා සැලකිල්ලට ගෙන පවතින නීතිමය හා ප්‍රතිපත්තිමය ප්‍රතිපාදන පුළුල් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ ප්‍රමිතීන් පිළිබඳව හිමිකරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට පියවර ගැනේ. ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි කිරීමේ දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට ද තීරණය වී ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය සහ මුල් ළමාවිය ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලුෂිකා ධනසේකර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.













