ජපානයේ ආචි-නගෝයා නගර කේන්ද්‍ර කර ගනිමින් සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පරිවාර නිලධාරීන් 250කට ආසන්න කණ්ඩායමක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.
කලාපයේ රටවල් 45ක් සහභාගී වන මෙම තරගාවලියට ක්‍රීඩා ඉසව් 43ක් ඇතුළත් වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් 20කට වැඩි ගණනකින් නියෝජනය කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානම් වේ. රග්බි (සත් සාමාජික), ක්‍රිකට් (විස්සයි-20), වොලිබෝල්, කබඩි සහ පැසිපන්දු ආදී කාන්තා හා පිරිමි කණ්ඩායම් ඉසව් රැසක් මෙවර ඇතුළත් වීම නිසා ශ්‍රී ලංකාවේ සහභාගිත්වයද ඉහළ ගොස් ඇත. තරගාවලියේ ඉසව් කිහිපයක් ටෝකියෝ අගනුවරදීද පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය තත්ත්වය අසතුටුදායක මට්ටමක පවතින බැවින්, මීට පෙර පැවැති ග්ලාස්ගෝව් පොදු රාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා උළෙලට මෙන් මෙවරත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රධාන අනුග්‍රහය ලබා ගැනීමට එම කමිටුව අපේක්ෂා කරයි. විගණන වාර්තාවලට අනුව, පසුගිය වසර කිහිපය තුළ ඔලිම්පික් කමිටුවට එරෙහිව පැවරූ නඩු වෙනුවෙන් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වැය වී ඇති අතර, ප්‍රධාන ගිණුම්වල මූල්‍ය තත්ත්වයද දුර්වල මට්ටමක පවතින බව වාර්තා වේ. මේ වන විට ඉන්දියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 264ක කණ්ඩායමක් සහ සත්කාරක ජපානය 900ක කණ්ඩායමක් මඟින් තම සහභාගිත්වය ප්‍රකාශයට පත් කර තිබේ.














