ජනවාරි පළමු වැනිදා සිට ජූලි 15 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,236,695ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි. මෙම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි මාසය ලෙස පෙබරවාරි මාසය වාර්තා වන අතර එම සංඛ්‍යාව 279,328කි. ජූලි මාසයේ ගතවූ දින 15ක කාලය තුළ පමණක් සංචාරකයින් 90,122ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.
මෙම සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 314,163කි. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 117,844ක්, චීනයෙන් 81,665ක් සහ රුසියාවෙන් 78,276ක් ලෙස වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව මෙම වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ කාලසීමාව තුළ සංචාරක ආදායමෙන් උපයාගත් සමස්ත මුදල රුපියල් බිලියන 475.6කි. පසුගිය ජුනි මාසයේදී පමණක් සංචාරක ක්ෂේත්‍රය මගින් රුපියල් බිලියන 50.5ක ආදායමක් උපයාගෙන ඇති අතර වසරේ ඉතිරි කාලසීමාව තුළද මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.














