මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය තුළ කිසිදු සාකච්ඡාවක් හෝ තීරණයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි. ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් හරහා වංචා කිරීමේ සිද්ධියට අදාළව භාණ්ඩාගාර ලේකම්වරයා ඉවත් කළ යුතු බවට විපක්ෂය සහ විවිධ සංවිධාන නිරන්තරයෙන් ඉල්ලීම් සිදුකරමින් සිටින අතර, එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විමසූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව විපක්ෂය සහ සිවිල් සංවිධාන විසින් ප්‍රබල විවේචන සහ චෝදනා එල්ල කරමින් සිටින අතර, ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව භාණ්ඩාගාර ලේකම්වරයාට මසක කාලයක් ලබා දීම නුසුදුසු බවයි. තවද ගෙවීම් වාර දහයකදී සිදුව ඇති මෙම වංචාව පිළිබඳව වැඩිදුර සැක මතුවන බව ඔහු පවසයි. එසේම සමගි ජන බලවේගයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ, භාණ්ඩාගාර ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කර ඇති බැවින්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කරන ලෙසයි. එමෙන්ම ලේකම්වරයා අවස්ථා ගණනාවකදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මගහැර ඇති බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ද මෙම සිද්ධියට වගකිව යුතු බව පවසමින් විපක්ෂය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.














