එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවලට තරමක වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමනායක මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර ප්‍රදේශවල සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර ඉහළ අගයක පැවතිය හැකි බැවින් සහ දහවල් කාලයේදී උෂ්ණත්වය ඉහළ යාම නිසා පෙරවරු 10:00 සිට පස්වරු 3:00 දක්වා කාලය තුළ එළිමහනේ ගතකිරීම අවදානම් බවද දැනුම් දී ඇත. එබැවින් දහවල් කාලයේ එළිමහනේ ගතකරන කාලය සීමා කරන ලෙසත්, වැඩිපුර ජලය පානය කර සිසිල් ස්ථානවල ගැවසෙන ලෙසත් ජනතාවට උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.














