ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කරමින්, 2026 වසරේ අප්‍රේල් මාසය තුළ විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 767.9 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 වසරේ අප්‍රේල් මාසයට (ඩොලර් මිලියන 646) සාපේක්ෂව 19%ක සැලකිය යුතු වර්ධනයකි.
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, 2026 වසරේ මුල් මාස හතර තුළ පමණක් ඇමරිකන් ඩොලර් මිලියන 3,062.8ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත. පුහුණු ශ්‍රමිකයන් සඳහා නව රැකියා වෙළෙඳපොළවල් හඳුන්වා දීම සහ විදේශගත ශ්‍රමික සුභසාධන වැඩපිළිවෙළවල් ශක්තිමත් කිරීම මෙම වර්ධනයට ප්‍රධාන හේතු වී තිබේ. 2026 වසරේ මුල් මාස හතර තුළ පුද්ගලයන් 79,954 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඉන් වැඩිම පිරිසක් (17,012) එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරාගෙන ඇත. 2025 වසරේදී වාර්තා වූ ඩොලර් බිලියන 8ක වාර්තාගත ප්‍රේෂණ අගය අභිබවා යාමට මෙවර දත්ත මගින් සුබ ලකුණු පෙන්නුම් කරයි.














