වර්තමාන සමාජය තුළ ස්වයං විනය සහ සමාජීය විනය ගොඩනැගීම අත්‍යවශ්‍ය වන අතර, එවැනි පදනමක් නොමැතිව අනාගත දරුවන් සහ තරුණ පරපුර දුම්කොළ ව්‍යසනයෙන් මුදාගත නොහැකි බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි. 2026 ලෝක දුම්කොළ විරෝධී දිනය නිමිත්තෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති ජාතික උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අනාගත පරපුරට දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් තොර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා මඟපෙන්වීම වගකිවයුතු වැඩිහිටියන්ගේ ප්‍රධාන වගකීමක් බවයි. දුම්කොළ භාවිතය පුද්ගලයාට පමණක් නොව සමස්ත පවුලටම අහිතකර ලෙස බලපාන බැවින්, ඇබ්බැහිවීම්වලට ලක්වූවන් ඉන් මුදා ගැනීමට සමාජය සක්‍රීයව මැදිහත් විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, ‘දුම්කොළවලින් තොර පරපුරක්’ බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය නිල වශයෙන් කැපවී සිටින බවයි. පිළිකා සහ හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග අවම කිරීම සඳහා තරුණයින් දුම්වැටි භාවිතයට යොමුවීම මුල් අවධියේදීම වැළැක්විය යුතු බවත්, ඒ සඳහා දුම්කොළ පාලන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය මේමෝයි ටකේයුචි මහත්මිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද මෙම ජාතික උත්සවයට එක්ව සිටියහ.
















