නිෂ්පාදන කර්මාන්තය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඉංජිනේරු තාක්ෂණය යොදාගන්නා ශ්‍රී ලාංකේය සමාගමක් වන ISF, ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ (Coconut Dewatering) පද්ධතිය නිල වශයෙන් හඳුන්වා දී ඇත.
මෙම නව පද්ධතිය මෙතෙක් අතින් සිදුකෙරුණු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණයට ලක් කිරීම මගින් නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නංවන අතර, ශ්‍රමිකයන් මත යැපීම අවම කරමින් මෙහෙයුම් අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ආයෝජන ප්‍රතිලාභය (ROI) වේගවත් කරයි. දේශීය ඉංජිනේරුවන් විසින් මෙරටදීම සැලසුම් කර නිපදවන ලද මෙම පද්ධතිය සඳහා දැනටමත් ජාත්‍යන්තර මට්ටමින් විශාල ඉල්ලුමක් ලැබී ඇති අතර, ඒ අනුව ඉන්දුනීසියානු පාරිභෝගිකයන්ගේ ප්‍රසාදය දිනා ඇති මෙම යන්ත්‍රය ඉදිරි සති කිහිපය තුළ පිලිපීනය වෙත යැවීමටද නියමිතය.
ISF සමාගමේ අධ්‍යක්ෂ අංජුලා සිවකුමාරන් මහත්මිය සඳහන් කළේ, පොල් වතුර ඉවත් කිරීමට අමතරව පොල් ලෙලි ඉවත් කිරීම, පොල් කටු ගැලවීම සහ පොල් කුරුට්ට ඉවත් කිරීම ඇතුළු සමස්ත පොල් සැකසුම් වටිනාකම් දාමය පුරාම නව තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීමට සමාගම කටයුතු කරමින් සිටින බවයි. 1977 දී ආරම්භ වූ ISF සමාගම, කිරි, පොල්, ඖෂධ සහ රසායනික වැනි සැකසුම් කර්මාන්ත සඳහා ඉංජිනේරු සහ ස්වයංක්‍රීයකරණ විසඳුම් සපයන ප්‍රමුඛ ආයතනයකි. බටහිර තාක්ෂණික සමාගම් අය කරන පිරිවැයට වඩා ඉතා අඩු පිරිවැයකින්, ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සමාගම් ගෝලීය මට්ටමට පරිවර්තනය කිරීමට සහාය වීම සිය අරමුණ බවද ඇය වැඩිදුරටත් පැවසීය.














