ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් හි රග්බි ලීග් ක්‍රීඩා ලෝලීන් පිරිසක් රැස්ව සිටි ස්ථානයකට මෝටර් රථයක් වේගයෙන් පැනීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 18 හැවිරිදි තරුණයෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිකා බ්‍රැම්බ්‍රික් සමරසිංහ නැමැති මෙම සැකකරුට බරපතල තුවාල සිදු කිරීමේ අන්තරායකාරී රිය පැදවීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඔහුගේ රියැදුරු බලපත්‍රය මීට පෙර අත්හිටුවා තිබී ඇත. පසුගිය සෙනසුරාදා (04) උදෑසන නිව්කාසල් නයිට්ස් කණ්ඩායමට සුබ පැතීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පස් හැවිරිදි දැරියක් සහ 67 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු 10 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, සැකකරු ඉදිපත් කළ අධිකරණය විසින් ඔහු ලබන ඔක්තෝබර් 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පොලිසිය සඳහන් කර ඇත්තේ මෙය මූල්‍යමය හෝ වෙනත් වුවමනාවකින් සිදුකළ සැලසුම්සහගත ක්‍රියාවක් නොවන බවට විශ්වාස කරන බවයි.














