අයර්ලන්තය ඇතුළු යුරෝපා රටවල බාලවයස්කාර දරුවන් අන්තර්ජාලය සහ දුරකතන හරහා පොළඹවාගෙන අපචාරයට ලක් කරන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා “Paedophile Hunters” සංවිධාන විසින් ක්‍රියාත්මක කරන ලද රහසිගත ‘ස්ටින්ග්’ (Sting operation) මෙහෙයුම් කිහිපයකදී ශ්‍රී ලංකාවට අයත් පුද්ගලයින් කිහිප දෙනෙකුද කොටුවී තිබේ.
අදාළ සංවිධානවල සාමාජිකයන් බාලවයස්කාර දරුවන් ලෙස පෙනී සිටිමින් මෙම අපරාධකරුවන්ට පණිවිඩ යවා හමුවීමට කැඳවා සාක්ෂි සහිතව පොලිසියට භාර දෙනු ලබයි. කෙසේ වෙතත්, මෙවැනි විදෙස් රටවලට ගොස් විවාහ වී දරුවන් සිටියදී පවා මෙවැනි අමනුෂ්‍ය අපරාධවලට පෙළඹෙන ඇතැම් ලාංකිකයන් නිසා සමස්ත ශ්‍රී ලංකා නාමයටම ජාත්‍යන්තරය තුළ දැඩි අපකීර්තියක් අත්වී ඇති බව වාර්තා වේ.
මෙවැනි උගුල් මඟින් පුද්ගලයන් හසු කර ගැනීම සදාචාරාත්මකදැයි ඇතැමුන් ප්‍රශ්න කළද, කිසිදු යහපත් සිතුවිලි සහිත සාමාන්‍ය මිනිසෙකු කුමන ආකාරයෙන් පණිවිඩ ලැබුණත් දරුවෙකු අපචාරයට පෙළඹෙන්නේ නැති බැවින්, මෙවැනි නීච අපරාධකරුවන් සමාජයෙන් නිරාවරණය කිරීම අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතාවක් වී ඇති බව මෙහෙයුම් අංශ පෙන්වා දෙයි.














